Wednesday, November 4, 2009

නිමිත්ත...

වසර 13ක් නිදහස් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූ අපි නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමටද වරම් ලදිමු. එතෙක් කල් අප උදෙසා සකල ශ්‍රී ලාංකීය ජනතාව සිය දුක් මහන්සියෙන් උපයගත් මුදලින් බදු ගෙවූහ. අද අපි දැනුවත් ලෝකයා හා උරෙනුර ගැටී දෙපයින් නැගී සිටින මිනිසුන් බවට පත්ව සිටිමු. එවැනි වූ මොහොතක අපි පසු කර ආ මග දෙස හැරී බැලුවෙමු.

ප්‍රථමයෙන් අපි ආර්ථික අපහසුතා ඇති පාසලක් තෝරාගෙන අපට හැකි පරිදි සුළුවෙන් හෝ උදවු කිරීමට ඉදිරිපත් වීමු. අප පරිගනක විද්‍යාව හදාරා ඇති බව දැනගත් ඔවුහු හැකිනම් ඔවුනට දැනුම ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ සඳහා ඔවුනට විද්‍යාගාර පහසුකම් තිබුනද ඉගැන්වීමට දැනුම අවම බව අපට වැටහින. රජය, අධ්‍යාපන අමාත්‍යාංශය, ICTA ආයතනය සහ තවත් නොයෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානත් පෞද්ගලික ආයතනත් ලංකාවේ ඈත දුර බැහැර පාසල් දරුවන් නව ලෝකයේ ඉසව් කරා ගෙන යාමේ සද් අරමුණෙන් පරිගනක පහසුකම් ඔවුනට ලබා දී ඇති බව අපි දුටුවෙමු.එහෙත් පරිගනකය පිළිබඳ නිවැරදි චිත්‍රයක් මවාගැනීමට අපහසු වීම නිසා බොහෝ විට එම සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනෙන බව අපට පෙනුනි. ඔවුන් අපගෙන් උදවු බලාපොරොත්තු වන්නේ එම නිසාය. අප උගත් දෙය අන් අයට කියා දීමට අවස්ථාවක්ද අපට සැළසුනි. එය අපට මාහැඟි අවස්ථාවකි.

අපගේ මූලික අරමුණ හැකිතාක් සරළව ප්‍රධානම සහ මූලිකම සිද්ධාන්ත සහ ලක්ෂණ සාකච්ඡා කිරීමෙන් පරිගනකය යන විෂය සම්බන්ධයෙන් ඇති දුර්මත දුරලීම සහ පරිගනක ලෝකයට යම් පිවිසීමක් ලබාදීමය. එහිදී අනවශ්‍ය සංකීර්ණ බව ඇති නොවීමට වග බලාගත් අතර හැකිතාක් දුරට කෙටියෙන් සහ සරලව කරුණු සාකච්ඡා කරන ලදී. පරිගනක තාක්ෂණය ආරම්භයේ සිටම ඇති එක් විශේෂ කරුණක් නම් එය මෙතරම් ලොව වෙලාගෙන ඇත්තේ ලොව බොහෝ කටයුතු එය විසින් සරල කර තිබීම නිසයි. එම නිසා සරල දේ සරල ලෙස තිබිඅය යුතුය. බහුතරයක් සංකීර්ණ දේවල් සරල ලෙස සාකච්ඡා කළ හැකි බව අපගේ වැටහීමයි.

අප බෙදා ගන්නා දැනුම ඔබ සැමට ප්‍රයෝජනවත් වනු ඇතැයි අපගේ එකම ප්‍රාර්ථනාවයි.

ඔබ සැමට ජය!

No comments:

Post a Comment